Pages

Monday, 7 October 2013

3 වන ලෝක යුද්ධය ජලය වෙනුවෙන් !!!

ලෝකයේ සම්පූර්ණ ඉඩ ප‍්‍රමාණයෙන් සියයට හැත්තෑවක් පමණ වසා ගෙන ඇත්තේ ජල තලාවයි. නමුත් පිරිසිදු පානීය ජලය ලෝකවාසීන්ට සම්පූර්ණයෙන්ම ප‍්‍රමාණවත් නොවන දිනයක් උදා වනු ඇතැයි සැලකේ. අන්තර් ජාතිකව ගණන් බලන ආකාරයට වසර 2050 වන විට ලෝකයේ නාගරික ප‍්‍රදේශ වල ජීවත්වන ජනගහනය බිලියන 6.3 ඉක්මවනු ඇත. 2009 දී බිලියන 3.4 ක් වූ  නාගරික ප‍්‍රදේශ වල ජීවත්වන පිරිස කෙටි කාලයක් ඇතුළත දෙගුණයකට ආසන්න ගණනකින් ඉහළයාම බරපතළ ප‍්‍රශ්නයකි. මෙම පිරිසට දිනපතා පානයට සහ නිසි සනීපාරක්ෂාව වෙනුවෙන් පිරිසිදු ජලය සැපයීම පහසු ව්‍යායාමයක් නොවේ. පානීය ජලය, විශ්වාස කරන්නටත් අපහසු වන ආකාරයට අන්තර්ජාතික අර්බුදයක් මතු කරනු ඇති බවට මතවාදයක් නැගෙමින් තිබේ. නුදුරු යුගයක ලෝක යුද්ධයක් ඇතිවුවහොත් ජල හිඟය එයට එකම කරුණ විය හැකි බවට අදහසක් පැන නැගී ඇත.

තිරිඟු කිලෝවක් හදන්න ජල ලීටර් 1000 ක්


ලෝකය මනුෂ්‍ය වාසය ඇරඹෙන විට එය ජල පහසුව ඇති ගංගාධාර ආශ‍්‍රිතව සිදුවූ බව ඉතිහාසය අධ්‍යයනය කරන විට පැහැදිලිව සනාථ වෙයි. සීමිත පිරිසක් ජීවත් වූ ලෝකය තුළ ජනගහන වර්ධනය සමග නොයෙකුත් ගැටලූ පැන නැගෙමින් තිබේ. ජලය, ආහාර එයින් ප‍්‍රධාන ම අභියෝග අතර පසුවෙනු ඇතැයි පිළිගැනේ. ගෝලීය උෂ්ණත්වය වැඩිවෙමින් පවතින අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අයිස් කදු දියැවීමට පටන් ගෙන තිබේ. මාලදිවයින වැනි රටවල් ඇතුළුව නොයෙක් රටවලට භූමිය අහිමිවනු ඇත. මුහුද යට කැබිනට් රැස්වීමක්  පවත්වමින් තමන් මුහුණදෙන ඉරණම ගැන ලෝක අවධානයට පාත‍්‍ර කරන්නට මාලදිවයින පසුගියදා ක‍්‍රියා කළේය. උෂ්ණත්වය වැඩිවීම සමග පරිසර වෙනස්කම් මතුවෙමින් තිබේ. කාලගුණ විපර්යාස ඒ අතරින් ප‍්‍රධානය. වැසි කාලය අඩුවීමක් පෙන්නුම් කරන අතර අපේක්ෂිත සමයේ වැසි නොලැබීමෙන් සහ අනපේක්ෂිත අවස්ථාවේ මහ වැසි වැටීමෙන් නියගය ද ගංවතුරද එක සේ ජන ජීවිත පීඩාවට පත් කරයි.
ජලය කළමනාකරණය කිරීම හා පිරිසිදු පානීය ජලය මහත් සම්පතක් සේ සළකන්නට මතවාදයක් ජගත් ප‍්‍රජාව තුළ ඇවිලෙන්නේ මේ අනුවය. එක්සත් ජාතින් ගේ සංවිධානය නිකුත් කළ අන්තර්ජාතික ජල සංවර්ධන වාර්තාවට අනුව ලෝක ජනගහනයෙන් පහෙන් එකක් පිරිසිදු පානීය ජලය හිඟකමෙන් ජීවත් වෙති. දිනපතා 14,000 කට අධික පිරිසක් ජලය විශවීමෙන් මියයන බවට ගණන් බලා ඇත. එයින් 11,000 ක් අවුරුදු පහට අඩු දරුවන් බව කනගාටුවට කරුණයි. ලොව පුරා ජලය හිඟ ප‍්‍රදේශ වල ජීවත්වන පවුල් වල කාන්තාවන් සහ ගැහැනු දරුවන් දිය එකතු කිරීමට වැය කරන කාලය එකතු කළහොත් එය වැඩ කරන්නට හැකි පැය මිලියන 200 ක් බව මෙම වාර්තාව වැඩිදුරටත් දක්වයි. වසර 2025 වන විට ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවනු ඇති අතර මෙම ජනගහනයේ වැඩිම වර්ධනය ආසියානු සහ අප‍්‍රිකානු කලාපයේ නගර ආශ‍්‍රිතව සිදුවනු ඇති බව සැලකේ.

සහල් කිලෝවකට ජල ලීටර් 1400 ක්


පසුගිය වසරේ අග ලෝකයේ නොයෙක් රටවල් අධික වැස්ස නිසා ඇතිවූ ප‍්‍රශ්න වලට මුහුණ දුන්නේය. ජාත්‍යන්තර මාධ්‍ය දක්වන අන්දමට අධික ශීතල හෙයින් දකුණු ඉන්දියාවේ සියගණනක් මිය ගියහ. බ‍්‍රසීලය,  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් ගණනාවක බරපතළ විනාශ සිදුව තිබේ. දැන් දරුණු නියඟයක් පැතිරෙන බව අනාවරණය වෙයි. ඇමෙරිකාව හා ඉන්දියාව එයට මුහුණ දෙමින් සිටී. නියඟය දරුණු අන්දමට ආහාර භෝග වගා විනාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය එතනොල් නිපදවීම වෙනුවෙන් කෘෂි භෝග වෙන් කිරීම සීමා කරන්නැයි දැනටමත් ඇමෙරිකාවට දැනුම් දී තිබේ. ආහාරයට ගත හැකි භෝග මගින් ජෛව ඉන්ධන නිපදවීම අද පැතිරෙමින් පවතින තත්ත්වයකි.
නියඟය හෙයින් ආහාර හිග වන විට පසුගිය සති හය ඇතුළත තිරිඟු මිල සියයට පනහකින් වැඩිවී ඇති අතර එවැනි පසුබිමක ඉන්ධන නිපදවන්නට තිරිඟු ප‍්‍රයෝජනයට ගැනීම නුසුදුසු බව පර්යේෂකයන්ගේ තීරණයයි. මේ අතර පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ තිරිගු කිලෝවක් නිපදවන්නට ජලය ලීටර් 1,000 ක් අවශ්‍ය වන බවය. සහල් කිලෝවක් නිපදවන්නට ජලය ලීටර් 1,400 ක් වැය කරන්නට ගොවියන්ට සිදුවෙයි. සත්ව පාලනයෙහි නිරත ගොවියන් මස් කිලෝවක් වෙනුවෙන් වියදම් කරන ජලය ප‍්‍රමාණය ලීටර 13,000 කි. මේ අතර වැඩිම ඒක පුද්ගල ජල පරිභෝජනයක් වාර්තා කරන්නේ උතුරු ඇමරිකාව හා ජපානයයි. එම රටවල වැසියන් ගේ දෛනික ඒක පුද්ගල ජල පරිභෝජනය සාමාන්‍යයෙන් ලීටර 360 කි. යුරෝපයේ එය ලීටර් 200 ක් වන අතර සහරා සහ අප‍්‍රිකානු කලාපයේ රටවල ඒක පුද්ගල දෛනික ජල පරිභෝජනය ලීටර 10-ත් 20ත් අතර බව පෙන්වා දෙයි.
ආහාර නිපදවන්නට ජලය අවශ්‍ය ප‍්‍රමාණය දෙස බලනවිට කෘෂිකාර්මික ජීවිතයක් ගත කරන සාමාන්‍ය ලෝකවාසීන් ජල සංරක්ෂකයන්ය. ධනවත් සහ මාංශ අනුභව කරන සමාජය එයට ජලයෙන් ගෙවන වන්දිය විශාලය. මේ අතර ගංගා, වැව් සහ ළිං මගින් පවතින පිරිසිදු ජලයෙන් සියයට 93 ක් වැය කෙරෙන්නේ කෘෂිකාර්මික අංශ වෙනුවෙන් බව ජල කළමනාකරණය සම්බන්ධ පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. ලෝකය පුරා ජලය කළමනාකරණය සහ එහි අලූත් ආකල්ප වගා කළ යුතු යැයි පෙන්වා දෙන පර්යේෂකයන් නගන අනතුරක් වන්නේ ලෝකයේ රටවල් දෙකක් හෝ එයට වැඩි ගණනක් බෙදා හදා ගන්නා විශාල ගංගා හා ජලාශි‍්‍රත ප‍්‍රදේශ 260 ක් පවතින බවයි. මෙම පොදු භාවිතය සම්බන්ධයෙන් නිශ්චිත නීත්‍යානුකූල ගිවිසුමක් නැත. නුදුරු යුගයක ජලය අර්බුදයක් වුවහොත් මෙම ජල පද්ධති බෙදා ගැනීම ඉදිරියේ ප‍්‍රශ්න මතුවීම වැළැක්විය නොහැකිය.

මස් කිලෝවක් හදන්න ජල ලීටර් 13000 ක්


ජලය පිරිසිදු කර පානීය අවශ්‍යතා වෙනුවෙන් පොදු ජනතාවට බෙදාදීම අන්තර්ජාතිකව විශාල උනන්දුවකින් කෙරෙන ව්‍යාපෘතියකි. දැනට මැද පෙරදිග පමණක් නොව ඇමෙරිකාව ඇතුළු රටවල් විශාල ගණනක් අපවිත‍්‍ර ජලය පිරිසිදු කර පානීය ජලය වශයෙන් පොදු ජනතාවට බෙදා හැරීමේ නිරතව සිටී. ඊශ‍්‍රායලය ජලය කියුබික් මීටරයක් පිරිසිදු කරන්නට ඇමෙරිකානු ඩොලර් ශත 53 ක් වියදම් කරයි. සිංගප්පූරුව වියදම් කරන මුදල ඇමෙරිකානු ඩොලර් ශත 49 කි. ඊශ‍්‍රායලය ජලය පිරිසිදු කර බෙදා හරින අතර පරෙස්සමෙන් ජලය ප‍්‍රයෝජනයට ද ගනියි. සෙවණ සලසන දැල් සහ ජල බිංදු තාක්ෂණයෙන් කෘෂිකර්මයෙහි නිරත වන්නට එරටට හැකියාවක් ලැබී ඇත. නමුත් අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ නාගරික සංස්කෘතියේ දී මෙලෙස බෙදාහරින ජලයෙන් සියයට 30-ත් 50ත්  අතර ප‍්‍රතිශතයක් නාස්ති වී අපතේ යන බවය. පහසුවෙන් මිනිස් පරිභෝජනයට පමණක් වෙන්කළ යුතු පිරිසිදු කළ පානීය ජලය අපතේ යැවීම සැලකිය යුතු ධන හානියක් බව අනාවරණය වෙයි.
මේ අතර ලෝකයේ රටවල් ගණනාවක් එකතු වී ජල සංරක්ෂණ අරමුදලක් පිහිටුවා තිබේ. නොයෙක් රටවල පිළිගත් මූල්‍යායතන පළමු වතාවට පොදු ජනතාවට පානීය ජල පහසුකම් සපයා ගැනීමට කුඩා ණය නිකුත් කරන්නට පියවර ගෙන ඇත. ජල පෝෂක ප‍්‍රදේශ සහ ස්වභාවික ජල පද්ධති ආරක්ෂා කරන්නට මැදිහත්විය හැකි ආකාරය ගැන ජගත් ප‍්‍රජාව පොදු සම්මුති වලට එළැඹෙමින් තිබේ. රටක් තුළ ඇති ජල සම්පත රටට වැදගත් නමුත් එය ලෝක ප‍්‍රජාවට එයටත් වඩා වැදගත්වන දිනයක් එළැඹෙමින් තිබේ. ජලයට නියම වන මිල එකී ඉල්ලූම අනුව තීරණය කෙරෙන දිනය නුදුරු අනාගතයේ දීම අනාවරණය වනු ඇත.

0 comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.